Saturday, February 16, 2019

එමිනෙම් | Eminem


හිපොප් සංගීතයේ රජු



මාෂල් බෲස් මැතර්ස්” නොහොත් “එමිනෙම්” එක්දහස් නමසිය හැත්තෑ දෙකේ ඔක්තොම්බර් මස දාහත්වැනිදා මිසෝරි හීදී මෙලොව එළිය දකිනවා.

ඔහුව මෙලොවට බිහිකරන්න පැය හැත්තෑ තුනක් පුරාවට නොවිදිනා දුක් විදි බව ඔහුගේ මව කියනවා. තම පියා කවුරුන්දැයි කුඩා මාෂල් දැන සිටියෙ නැහැ. ඔහුව හදා වඩා ගත්තේ ඔහුගේ මව විසින්.

නිසි කළමණාකාරීත්වයක් නොමැති තම මවගේ ජීවන චර්‍යාවන් නිසා, ඔහුට අවුරුද්දක් තුල පාසැල කීප වතාවක්ම මාරු කරන්න සිදු වෙනවා.

තම මව සමග “ඩිට්‍රෝයිට්” නගරයේ ගත කල කාලය එතරම් සුභ දායක වුනේ නැහැ. අප්‍රිකන් ඇමරිකානුවෝ සිටි ඒ ප්‍රදේශයේ, සුදු ජාතිකයන්ට හිටියේ එමිනෙම්ගේ පවුල සහ තවත් පවුල් දෙකක් පමණයි. ඒ නිසාම ඔහුට අණක් ගුණක් නැති කලු කොල්ලන්ගේ අඩත්තේට්ටම් වලට නිතරම ලක්වීමට සිදුවෙනවා.

එමිනෙම් කියන විදියට, පාසැල් කාලය නම් ඔහුට එපාම කරපු එකක් වෙලා තියෙනවා. ඔහු වයස අවුරුදු දාහතේදී පාසල හැර යනවා. නමුත් ඔහු ඉංග්‍රීසි භාෂාවටත්, චිත්‍ර කථා කියවීමටත්  දැඩි ඇල්මක් දක්වනවා. ඔහු රැප් ගායකයකු නොවුනා නම්, චිත්‍ර කථා ශිල්පියකු වියහැකි බව ඇතමුන් පවසනවා.

එමිනෙම්ට මුලින්ම රැප් ගීතයක් අසන්න ලැබෙන්නේ ඔහුට වයස අවුරුදු නවයේදී. ඒ තම මාමා තෑගි කල "අයිස් ටී" ගේ ගීත එකතුවක තිබී.

ඔහුට වයස අවුරුදු දාහතරේ දී තම මිතුරෙකු වූ මයික් රබී හා එක්ව රැප් ගීත ගායනා කරන්න පටන් ගන්නවා. මුල් කාලයේ ඔවුන්ව "එම් අන්ඩ් එම්" ලෙස හදුන්වනවා. පසු කාලීනව "එමිනම්" ලෙස පරිවර්තනය වන්නේද ඒ නමම තමයි.

ඔහුට තම මව සමග එතරම් ලග සබදතාවයක් තිබුනේ නැහැ. පසු කලෙක ඔහු තම මව නිසා විදීමට සිදු වූ තාඩන පීඩන පිළිබදව තම ගීත තුලින් ප්‍රකාශ කර සිටිනවා. ඔහුගේ මව ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරන්නේද ඒ හේතුව නිසායි.

එමිනම් බොහෝවිට තම ගීත සදහා රස්තියාදුකාර පද මාලා භාවිතා කරනවා. අරුත් ඉස්මතු වන ආකාරයට පද ගලපා පසුව සංගීතවත් කිරීම එමිනම් ගේ ක්‍රමයයි.

එක්දහස් නමසිය අනූ හයේදී ඔහු “ඉන්ෆිනිටි” ගීත ඇල්බමය එළිදක්වනවා. එය ඔහුගේ ප්‍රථම ගීත ඇල්බමයයි. ඔහුට තම දියණියගේ උපතේදී විදීමට සිදු වූ ආර්ථික ගැටලු පිළිබද ගීතයක්ද එහි අතුලත් වෙනවා.

එක්දහස් නමසිය අනූ හත වසර වන විට එමිනම් විශාල වශයෙන් ආර්ථිකව පරිහාණියට පත් වෙනවා. ඔහු “රැප් ඔලිම්පික්ස්” තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලබන්නේද මේ කාල සීමාව තුලදීයි.

එහිදී ඔහුගේ හැකියාවන්ට පැහැදී “ඩොක්ටර් ඩ්‍රේ” නම් සංගීතවේදියා, ඔහුගේ මීලග ගීත එකතුව එළි දැක්වීමට උදවු කරනවා.

ඒ එක්දහස් නමසිය අනූ නමය වසරේදී එළි දැක්වූ “ස්ලිම් ශේඩි” ගීත ඇල්බමයයි. ඒ තුල ඔහු තමන්ව “ස්ලිම් ශේඩි”  ලෙස හදුනවා දෙනවා.  

ස්ලිම් ශේඩි, එමිනම්ගේ අදුරු ප්‍රතිරූපයයි.

සමාජයේ අසම්මත වචන මාළා ස්ලිම් ශෙඩි ගීත ඇල්බමයේ ගීත වල ඇතුලත් වෙනවා. ඔහු බොහෝ ප්‍රසිද්ධ ගායකයන්ට, අවලාද අපහාස කිරීමට තම ගීත යොදා ගන්නවා, කාන්තාවන්ට අමිහිරි වචන වලින් අමතනවා. ඔහුගේ මවට පවා අපහාසාත්මකව අමතන්නේ මේ ගීත ඇල්බමයේ ඇති ගීත තුලින්. ඔහුට සමාජය කෙරේ ඇති වෛරය විදහා පාන්න ඔහු තම ගීත යොදා ගන්නවා.    

දෙදහස වසරේදී ඔහු, ද මාශල් මැතර්ස්” ගීත ඇල්බමය එළි දක්වනවා. එය නිකුත් වූ පලමු සතියේදීම පිටපත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් අලවි වනවා.

තම ජීවිතය හා සංගීතය” පිළිබදව කරුණු ඇතුලත් ග්‍රන්ථයක් ඔහු දෙදහස් අට වසරේදී එළි දක්වනවා.

දෙදහස් දහ තුන වසරේදී එළි දැක්වූ “රැප් ගෝඩ්” නම් ගීතය තුලදී, ඔහු මිනිත්තු හයයි තත්පර තුනකදී, වචන එක්දහස් පන්සිය හැටක් ගායනා කරනවා. එය මෙතෙක් බිහි වූ වැඩිම වචන ප්‍රමාණයක් ඇතුලත් ගීතයයි.

ඔහු මේ වන විට සම්මාන එකසිය හතලිස් හතරක හිමි කරුවෙක්.


ඇමරිකාවේ සුප්‍රසිද්ධ සගරාවක් වන “රෝලින් ස්ටෝන්” සගරාව විසින් මෙතෙක් බිහි වූ සුපිරිතම හිපොප් තරුව නොහොත් “හිපොප් රජු” ලෙස එමිනම්ව නම් කරනවා.

ස්ටීව් වොස්නියැක් | Steve Wozniak

ඇපල් සමාගමේ සම නිමැවුම්කරු



සුවිසල් සමාගමක මූල බීජයවී, එය අතහැර යන්නේ, හේතුවක් නැතිවම නොවේ.

“ස්ටීවන් ගැරී වොස්නියැක්” හෙවත් “ස්ටීව් වොස්නියැක්” එක්දහස් නමසිය පනහේ අගෝස්තු මස එකොලොස් වෙනිදා උතුරු කැලිෆෝනියාවේ සැන් ජෝස් හීදී උපත ලබනවා.

කුඩා වොස්නියැක්ව මිතුරන් “වෝස්” කියා අමතනවා. කුඩා කල සිටම ඉලෙක්ට්‍රොනික අත්හදා බැලීම් වල නිරතවීමට අශා කල මොහු; උසස් අද්‍යාපන කටයුතු නිමවීමත් සමගම “හැවලට් පැකාඩ්” හෙවත් “එච්. පී.” සමාගමේ තාක්ෂණික නිළදාරියකු ලෙස සේවයට බැදෙනවා.

තාක්ෂණයේ නවමු මං පෙත් තම මනසින් දකින මේ තරුණ නිමැවුම්කරුවා එවකට නොවූ විරූ ආකාරයේ පරිඝනක මවු පුවරුවක් නිපදවනවා. වෙනසක් දෙස විවෘත මනසකින් නොදකින, සාම්ප්‍රදායීකත්වයේ සෙවනැළි පසුපස හබායන එච්. පී. සමාගමේ කළමනාකාරීත්වය මේ විප්ලවීය නිර්මාණය ප්‍රතික්ශේප කරනවා.

තම අද්විතීය නිමවුමට කිසිදු වටිනාකමක් ලබා නොදුන් සමාගමකට වී තවත් කල්මැරීම නිශ්ඵල යැයි සිතූ මේ තරුණ නිර්මාණකරුවා, එක්දහස් නමසිය හැත්තෑ හයේ අප්‍රේල් මස පළමුවැනිදා තම සමකාලීන මිතුරකු වන “ස්ටීව් ජොබ්ස්” හා එක් ව “ඇපල් වන්” නමින් එය වෙළදපොළට හදුවන්වා දෙනවා.

මේ අද්විතීය තාක්ෂණික පෙරළිය පසු කලෙක ලොව වටිනාම වෙළද සන්නම් නාමය බවට පත්වනවා.

එක්දහස් නමසිය හැත්තෑ හතේ මයික් මාකූලාගේ ආගමනයත් සමග ඇපල් සමාගම සීමාසහිත පොදු සමාගමක් ලෙස සංස්ථාපනය වනවා.

සමාගමේ පර්‍යේෂන හා සංවර්ධන කටයුතු වොස්නියැක් හට භාර වූවත් අලවිකරණ හා නව ව්‍යාපාර ක්‍රමෝපායන් පිළිබදව කටයුතු කලේ “ස්ටීව් ජොබ්ස්” විසින්. 

“ඇපල් වන්” හී සාර්ථකත්වයත් සමග “පුද්ගලික පරිඝනක සංකල්පය” ලොවට රැගෙන ඒමට ස්ටීව් වෝස්නියැක් හා ස්ටීව් ජොබ්ස් එකසේ වෙහෙසෙනවා.

විප්ලවීය “ඇපල් ටූ” කළ එළි දකින්නේ මේ කාලසීමාව තුලදීයි.

වර්ණ ග්‍රැපික් හැඩතල වලින් අනූන, මූලික ක්‍රමලේඛන භාෂාවක් මත පදනම් වූ මිත්‍රශීලී මුහුණුවරක් ගත් මේ අද්විතීය නිර්මණය ලොව පුරා පාරිභෝගිකයන් මිලියන ගණනක් අතරේ අළවි වනවා.

එක්දහස් නමසිය අසූ හතරේ ජනවාරිමස විසිහතරවෙනිදා ඇපල් සමාගම නවමු මාවතකට යොමු කල “ඇපල් මැකින්ටොෂ්” පරිඝනකය කරළියට එනවා.

“මැකින්ටොෂ්” ව්‍යාපෘතියේ යාවජීව සාමාජිකයකු ලෙස වොස්නියැක් කටයුතු කරනවා.

සෑම සියලු නිර්මාණයක්ම තමාගේ පෞද්ගලික දෙයක් කර ගැනීමට වෙරදරන, ජොබ්ස්ගේ කූඨ ව්‍යාපාර උපක්‍රම දෙස වොස්නියැක් පිළිකුළෙන් යුතුව බලා සිටිනවා.

කාසි ගැටෙනා නාදයට හදවත ගැහෙනා තම ව්‍යාපාර සගයාගේ ආත්මාර්ථකාමී ගමනට ඉඩ දී, එක්දහස් නමසිය අසූ පහ වසරේදී ස්ටීව් වොස්නියැක් සදහටම ඇපල් සමාගම හැර යනවා.

ස්ටීව්, මම තවමත් අපි ගරාජ් එකේ කරපු දේට ආදරෙයි”
වොස්නියැක් එහෙම කියනවා.

ක්‍රිස්ටියන් බේල් | Christian Bale

වේල්සයේ උපත ලබූවද බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ක්‍රිස්ටියන් බේල් 


ක්‍රිස්ටියන් චාල්ස් පිලිප් බේල් හෙවත් ක්‍රිස්ටියන් බේල් එක්දහස් නමසිය හැත්තෑ හතරෙ ජනවාරි මස තිස් වනිදා වේල්සයේ ගම්බද ප්‍රදේශයක් වන පෙම්බෲක්ෂයර් හීදී බ්‍රිතන්‍ය ජාතික මවකට හා දකුණු අප්‍රිකානු ජාතික පියකුට දාව උපත ලබනවා.

සහෝදරියන් තිදෙනකු වෙසෙන පවුලේ එකම පිරිමි දරුවා වන්නේ මොහුයි. ඔහු තම ළමාකාලය වේල්සයේ, එංගලන්තයේ මෙන්ම පෘතුගලයේ ගත කරනවා.

කුඩා බේල් නවහැවිරිදි වියේදීම වෙළද දැන්වීමකට පෙනීසිටිමින්, රංගන දිවියට මං පෙත් විවර කරගන්නවා.

එක්දහස් නමසිය අසූ හත වසරේදී තිරගත වූ “ස්ටීවන් ස්පිල්බර්ග්” මහතා අතින් නිමවූ “එම්පයර් ඔෆ් ද සන්” සළරුවේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සදහා තරුණ නළුවන් හාරදහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් අතරින් කුඩා බේල්ව තෝරාගනු ලබනවා

ධනවත් බ්‍රිතාන්‍ය කොළුගැටයකු දෙවන ලෝක යුධ සමයේදී චීනයේ ෂැංහයි නුවර අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියදී; ජපන් ආක්‍රමන මත, තම දෙමවුපියන්ගෙන් වෙන්වී ජපන් සිර කදවුරක ගත කරන කාලසීමාවක් තේමා කරගත් මෙම සිනමා පටයේ “ජිම් ග්‍රහැම්” නම් ධනවත් බ්‍රිතාන්‍ය කොළුගැටයාගේ චරිතයට අධි තාත්වික බවක් ලබාදීමට කුඩා බේල්ට හැකිවනවා.

ඔහු, තමාට වයස අවුරුදු දහ හතේදී, දෙමවුපියන්ගේ වෙන්වීම මත, තම පියා සමග ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වනවා.

හොලිවුඩයේ බිහිවූ දැවැන්තතම සිනමා කෘති ගනණාවකට තම දායකත්වය ලබාදෙන මොහු; නැවත වතාවක් ප්‍රේක්ශක හදවත් තම නවාතැන්පල කරගනු ලබන්නේ, දෙදහස් පහ වසරේදී තිරගතවූ “ක්‍රිස්ටෝපර් නෝලන්” නම් සිනමා වේදියාගේ සිනමා සිත්තමක් වූ “බැට් මෑන් බිගින්ස් චිත්‍රපටයේ “බැට් මෑන්” හෙවත් “බෲස් වේන්” ගේ චරිතයට පණ පොවමින්.

බැට් මෑන් චරිතය හරහා ප්‍රේක්ශක හදවත් තුල කිසිදා නොමැකෙන මතක සටහන් සණිටුහන් කල මෙම අසහාය රංගධරයා, ඉන් මත්තට දෙදහස් අට වසරේදී ද ඩාර්ක් නයිට්චිත්‍රපටයේද, දෙදහස් දොලහ වසරේදී ද ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටයේද, තම දස්කම් මැනවින් විදා දක්වනවා.

කැලිෆෝනියා හී සැන්ටා මොනිකා තම වාසස්තානය කරගත් බේල්, දෙදහස වසරේදී “සිබි බ්ලැසික්” සමග විවාහ ජීවිතයට එළබෙනවා.

කදු, හෙල්, තැනිතලා පසු කරමින් තම ජීවිත ගමන ගෙනයන මොවුන්ගේ කැදල්ලට මේ වන විට තවත් සාමාජිකයන් දෙදෙනෙකුද එකතු වී තිබෙනවා.

සම්මාන එකසිය අටකට නාමයෝජනා වී ඉන් සම්මාන හැත්තෑ පහක් ලබා ගැනීමට මොහු සමත් වී තිබෙනවා.

වේල්සයේ උපත ලැබූවද, වේල්සියානු වැසියකු වීමට අකමැතිවූ ඔහු, දිනක් තමාට මාද්‍යවේදියකුගෙන් ලැබුණු පැනයකට පිලිතුරු ලබාදෙමින් කියා සිටියේ, ඔහු වේල්සයේ උපත ලැබූ පමණින්, වෙල්සියානු ජාතිකයෙකු නොවන බවයි.

මුහම්මද් අලී | Muhammad Ali

බොක්සින් වලල්ලේ “ශ්‍රේෂ්ඨතමයා”




ඒ උතුරු ඇමරිකාවේ වර්ණභේදවාදය තදින්ම ක්‍රියාත්මක වූ කාලයකි. යටත් විජිත සමයේ අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ කලු ජාතිකයන්, සුද්දන්ගේ වහලුන් යැයි ඔවුන් සිතීය.

මවු කුසෙහි සිටිනා නූපන් දරුවා පවා ගණන්කාර සුද්දන්ගේ වහලෙකු බවට පත්විය.

“කැසියස් මාසෙලස් ක්ලේ” අලීගේ මුල් නම උනේ එයයි.

“කැසියස් මාසෙලස්” යන්න, තම පියාගෙන්ද, “ක්ලේ” යන්න තම පරපුර අයත් වහල් හිමියාගෙන්ද ඔහුට හිමි වුණා.  

ඔහු උපන්නේ එක්දහස් නමසිය හතලිස් දෙකේ ජනවාරි මස දාහත් වැනිදායි. ඒ ලුවිස්විල් නම් කෙන්ටකි ප්‍රාන්තයේ පිහිටි කුඩා ගමක.   

දිනක්, ඔහු වඩාත් ආදරය කල ඔහුගේ බයිසිකලය ඔහුට අහිමි උනා. එය සොරකමක් යැයි වටහාගත් කුඩා ක්ලේ පොලිස් නිළදාරියකු හමුවී බයිසිකලය සොරාගත් තැනැත්තා හමුවුවහොත්, ඔහුට හොද පාඩමක් උගන්වන්නට ඕනෑ යැයි කියාසිටියා. එවිට පොලිස් නිළදාරියා පිළිතුරු දෙමින් කියා සිටියේ, “හොරාට පාඩම් උගන්වන්නට කලියෙන් පාඩම් උගන්වන හැටි ඉගෙන ගත්තොත් මොකද?” යනුවෙනුයි.

“ජෝ මාටින්” නම් එම පොලිස් නිළදාරියා අලීගේ ප්‍රථම පුහුණු කරු වුණා. පොලිස් නිළදාරියකු මෙන්ම අර්ධ කාලීන බොක්සින් පුහුණුකරුවකු වූ ඔහු, එදා අලීහට; හොරුන්ට පාඩම් උගන්වන හැටි කියා දුන් අයයි.

මෙම දෛවෝපගත සිදුවීම හමුවේ, වසර එක්දහස් නමසිය හැටේදී අලී (එකල ක්ලේ) රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙමින් රන් පදක්කමක් දිනා ගත්තා. වහල්භාවය කරමතින් දරාගත් කලු ජාතිකයෙකු ලෙස සුද්දන්ගේ රටට තමාගෙන් කුමට රන් පදක්කම්ද යැයි සිතමින්, අලී (එකල ක්ලේ) තමා ලද රන් පදක්කම “ඔහියෝ ගං පතුලට විසි කලා.    

බොක්සින් වලල්ල තුල, අලී ඔහුව හදුන්වාගත්තේ 
“ශ්‍රේෂ්ඨතමයා” ලෙසිනුයි. තම ප්‍රථිවාදියාට තරගය එපාවන තුරුම අපහාසාත්මකව ඇනුම්පද කීම අලීගේ ක්‍රමය වුණා.

එක්දහස් නමසිය හැට හතර වසරේදී, “ලෝක හෙවිවෙයිට් ශූරතාවය” සදහා, අලී (එකල ක්ලේ) “සනී ලිස්ටන්” ට අභියෝග කලා. එවිට ඔහුට වයස අවුරුදු විසි දෙකයි. වයසින් කුඩා වුවත්, අලීට තිබුනේ අපහාසාත්මක කතා විලාසයක්. තරගයට පෙර අලී, සනී ලිස්ටන්ට බොහෝ අවලාද අපහාස කලා.

“ලිස්ටන් හරියට තඩි ගද වලහෙක් වගේ, මම ඌව පැරැද්දුවම, සත්තුවත්තට පරිත්‍යාග කරනවා.”

අලී තරගයට පෙර ලිස්ටන්ට ඇමතුවේ එලෙසයි. ඔහුගේ කතා විලාසය හරියට රැප් ගායකයෙකු ගයන රැප් ගීතයක් වගේ, තාලයට පද ගලපා රිද්මයානුකූලව ප්‍රථිවාදියාට පහර ගැසීමට අලීට තරම් හැකියාවක් අන් කිසිවෙකුට නොතිබුණා.

“කවුරු හරි අද රෑ බොක්සින් පිටිය අසලදී මිය යයි” ලිස්ටන් ගේ පිළිතුර වුණේ එයයි.

තරගය බලා සිටි සියලුදෙනාම පුන පුනා බලා සිටියේ මේ කටවාචාල කොලුගැටයාව, සනී ලිස්ටන් බිමහෙලන්නේ කිනම් වටයේද යන්නයි.

සමනලයෙකු සේ ඉපිලෙන, මී මැස්සෙකු සේ ඇනයන, අලීගේ (එකල ක්ලේ) සටන් ශෛලිය ලිස්ටන්ට තවත් පිටිය තුල රැදී සිටීමට අඩ හසර සලසා දුන්නේ නැහැ. තවදුරටත් සටන් වැද, තමාගේ දරුවකු වන් ප්‍රථිවාදියකුගේ “නොකවුට් පහරකට” ඇද වැටී තම නම්බුව අහිමි කර ගැනීමට අකමැතිවූ ලිස්ටන්, උරහිසෙහි ආබාදයක් යැයි පවසමින් තරගයෙන් ඉවත් වීමට තීරණය කළා.  

ඒ අනුව, වයස අවුරුදු විසි දෙකේදී “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට අලී (එකල ක්ලේ) පත් වුණා.

“ආපහු ගිලපං, උබේ වචන” අලී (එකල ක්ලේ) තරගයෙන් ඉවත්වී යන ලිස්ටන්ට කෑගැසුවා.
“මම තමයි ශ්‍රේෂ්ඨතමයා!”
“මම තමයි ලෝකයේ ජීවත් වන ලස්සනම දේ!” “මම මුලු ලෝකෙම හොලවනවා!” අලී (එකල ක්ලේ) යලි යලිත් කෑගසා කීවා.

කැසියස් ක්ලේ “මුහම්මද් අලී” බවට පතවුණේ මින් පසුවයි.

අලීගේ පවුල, ධනවත් පවුලක් නොවේ. පාසල් කාලයේදී, තම බාල සොහොයුරා පාසල් බස් රථයට නංවා, බසය පසුපසින් පාසල වෙත දිවයාමට අලීට (එකල ක්ලේ) සිදු වුණා. නමුත් ඔවුන් හොද කතෝලිකයන්.

“යේසුස් වහන්සේත් සුදුයි. සුදු හම, නිල් ඇස්, යේසුස් වහන්සේ කලු අපට කවදා පිළිසරණක් වේවිද?” අලීගේ සිතට කුඩා කල සිටම වද දුන් කාරණය වූයේ එයයි.

සමාජ සාදාරණත්වය, සහෝදරත්වය, සැමට එක සේ සැලකීම, යන කාරණා හමුවේ “ශුද්ධවූ බයිබලය” පසෙකලා “අල් කුරාණය” අතට ගනිමින් “කැසියස් මාසෙලස් ක්ලේ” “මුහම්මද් අලී” බවට පත් වුණා.

එක්දහස් නමසිය හැට හය වන විට ඇමරිකන් රජය වියට්නාමය සමග යුද්ධයකට පැටලුනා. හමුදා සේවය අනිවාර්‍ය වුණා. බොහෝ ක්‍රීඩකයන්, ගායකයන්, රංගන ශිල්පීන් තම මවුබිම වෙනුවෙන් යුද වැදුනා. නමුත් අලී, තම පෞද්ගලික ප්‍රතිපත්තිය මත වියට්නාම් වැසියන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට අකමැති වුණා.

“වියට්නාම් වැසියන්ට එරෙහිව සටන් වැදීමට මට ඕනෑ නැහැ. මගේ සතුරන් සිටින්නේ මෙහිමයි”

අලී කල ඒ ප්‍රකාශය ඇමරිකාව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යැයි ඇමරිකන් රජය කියා සිටියා.

“යුද්ධයට එරෙහි වුන් රජය විසින් සලකන්නේ දේශද්‍රෝහීන් ලෙස නම් ඔවු, මමත් දේශද්‍රෝහියෙක් ”
අලී යලිත් කියා සිටියා.

යුද්ධයට යාම ප්‍රතික්ශේප කිරීමත්, ඇමරිකන් රජය අමු අමුවේම විවේචනය කිරීමත් යන කරුණු කාරනා මත පදනම්ව අලී දිනා තිබූ සියලු පදක්කම් අහිමි කර, පස් වසරක තරඟ තහනමක් ලබාදීමට ඇමරිකන් රජය තීරණය කලා.

තරඟ තහනමට ලක්වූ අලී; විශ්ව විද්‍යාල වල “වර්ණභේදවාදය” පිළිබදව දේශන පැවැත්වූවා. තරුණ සංගම්, සිවිල් සංවිධාන හරහා වර්ණභේදවාදයේ අදුරු පතිකඩ පිළිබදව සමාජයට විදහාපෑවා. කෙසේ හෝ අලීගේ පස් වසරක තරඟ තහනම අධිකරණ නියෝගයක් මත තෙවසරකින් නිමාව දුටුවා.

නැවතත් බොක්සින් පිටියට පැමිණෙන අලී, ඔහුට අහිමි වූ “ලෝක හෙවිවෙයිට් ශූරතාවය” පසුපස හඹා ගියා. අලීගේ මීලග හෙවිවෙයිට් ප්‍රථිවාදියා වූයේ “ජෝර්ජ් ෆෝර්මන්”. දෙදෙනාම බොක්සින් පිටිය තුල එකෙකුට නොදෙවෙනි දක්ශයන් වූවා. තරගයට පෙර අලීගේ සුපුරුදු අපහාසාත්මක කතා විලාසය ෆෝමන්ගේ මනස නොසන්සුන් කලා. තරගය සුපුරුදු ලෙසම ඇවිලී ගියා. ෆෝර්මන්, අලී හා කරට කර සටන් වැදුනා. නමුත්, තරගයේ අටවන වටයේදී ෆෝර්මන්ව නොකවුට් පහරකින් පිටිය මත පථිත කරවීමට අලීට හැකි වුණා. මුහම්මද් අලී දෙවැනි වතාවටත් “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා. එම තරගය බොක්සින් ඉතිහාසයේ පැවැත්වූ  සාහසිකම තරගයක්. එය හැදින් වූයේ “රම්බල් ඉන් ද ජංගල්” ලෙසයි. 

එක්දහස් නමසිය හැත්තෑ අට වසරේදී “ලියෝන් ස්පින්ක්ස්” හට අලී පරාජයට පත්වුණා. අලීට නැවත හෙවිවෙයිට් ශූරතාවය අහිමි වුණා.

හෙවිවෙයිට් ශූරතාවය අහිමි වීම ඔහුට දරාගත නොහැක්කක් වුණා. ඒ අනුව එම වසරේදීම ස්පින්ක්ස් හට නැවත අභියෝග කර අලී තෙවන වරටත් “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා. ඒ වන විට හෙවිවෙයිට් ශූරතාවය “තෙවරක්” හිමි කරගත් අයෙක් බොක්සින් පිටිය තුල සිටියේ නැහැ.

එක්දහස් නමසිය අසූව වසර වන විට “පාකින්සන්” රෝග ලක්ෂණ අලීගේ සිරුරෙන් මතුවිමට පටන් ගත්තා. කාලයක් පුරාවට හිසට වැදුනු තදබල පහරවල් එයට හේතු වුණා. ඒවන විට බොක්සින් පිටියේ සිටි තරුණ, ජව සම්පන්නතම ප්‍රථිවාදියා වූයේ “ලැරී හෝම්ස්”. අලීගේ රෝග ලක්ෂණ වාසියක් කරගනිමින් අලීට අභියෝග කල හෝම්ස්, අලී පරදා “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා.

එම තරගය අලීගේ බොක්සින් දිවියේ ගොඩනගා ගත් කීර්තියට විශාල කැළලක් වුණා. නමුත් පිළිකාවක් මෙන් ඔහුගේ සිරුර පුරා ව්‍යාප්ත වන පාකින්සන් රෝගය නිසාවෙන්, මුහම්මද් අලී එක්දහස් නමසිය අසූ එක වසරේදී බොක්සින් පිටියෙන් සමුගත්තා.

ඉන් පසු අලී තම කාලය ගත කලේ, ඔහුගේ සමාජ සේවා කටයුතු සදහායි.

කලක් පුරාවට පාකින්සන් රෝගයෙන් පීඩා විදි ඔහු, දෙදහස් දහසයේ ජූනි මස තුන්වැනිදා එනම් ඔහුට වයස අවුරුදු හැත්තෑ හතරේදී තම ජීවන මංපෙතට තිත තැබුවා.