Saturday, February 16, 2019

ස්ටීව් වොස්නියැක් | Steve Wozniak

ඇපල් සමාගමේ සම නිමැවුම්කරු



සුවිසල් සමාගමක මූල බීජයවී, එය අතහැර යන්නේ, හේතුවක් නැතිවම නොවේ.

“ස්ටීවන් ගැරී වොස්නියැක්” හෙවත් “ස්ටීව් වොස්නියැක්” එක්දහස් නමසිය පනහේ අගෝස්තු මස එකොලොස් වෙනිදා උතුරු කැලිෆෝනියාවේ සැන් ජෝස් හීදී උපත ලබනවා.

කුඩා වොස්නියැක්ව මිතුරන් “වෝස්” කියා අමතනවා. කුඩා කල සිටම ඉලෙක්ට්‍රොනික අත්හදා බැලීම් වල නිරතවීමට අශා කල මොහු; උසස් අද්‍යාපන කටයුතු නිමවීමත් සමගම “හැවලට් පැකාඩ්” හෙවත් “එච්. පී.” සමාගමේ තාක්ෂණික නිළදාරියකු ලෙස සේවයට බැදෙනවා.

තාක්ෂණයේ නවමු මං පෙත් තම මනසින් දකින මේ තරුණ නිමැවුම්කරුවා එවකට නොවූ විරූ ආකාරයේ පරිඝනක මවු පුවරුවක් නිපදවනවා. වෙනසක් දෙස විවෘත මනසකින් නොදකින, සාම්ප්‍රදායීකත්වයේ සෙවනැළි පසුපස හබායන එච්. පී. සමාගමේ කළමනාකාරීත්වය මේ විප්ලවීය නිර්මාණය ප්‍රතික්ශේප කරනවා.

තම අද්විතීය නිමවුමට කිසිදු වටිනාකමක් ලබා නොදුන් සමාගමකට වී තවත් කල්මැරීම නිශ්ඵල යැයි සිතූ මේ තරුණ නිර්මාණකරුවා, එක්දහස් නමසිය හැත්තෑ හයේ අප්‍රේල් මස පළමුවැනිදා තම සමකාලීන මිතුරකු වන “ස්ටීව් ජොබ්ස්” හා එක් ව “ඇපල් වන්” නමින් එය වෙළදපොළට හදුවන්වා දෙනවා.

මේ අද්විතීය තාක්ෂණික පෙරළිය පසු කලෙක ලොව වටිනාම වෙළද සන්නම් නාමය බවට පත්වනවා.

එක්දහස් නමසිය හැත්තෑ හතේ මයික් මාකූලාගේ ආගමනයත් සමග ඇපල් සමාගම සීමාසහිත පොදු සමාගමක් ලෙස සංස්ථාපනය වනවා.

සමාගමේ පර්‍යේෂන හා සංවර්ධන කටයුතු වොස්නියැක් හට භාර වූවත් අලවිකරණ හා නව ව්‍යාපාර ක්‍රමෝපායන් පිළිබදව කටයුතු කලේ “ස්ටීව් ජොබ්ස්” විසින්. 

“ඇපල් වන්” හී සාර්ථකත්වයත් සමග “පුද්ගලික පරිඝනක සංකල්පය” ලොවට රැගෙන ඒමට ස්ටීව් වෝස්නියැක් හා ස්ටීව් ජොබ්ස් එකසේ වෙහෙසෙනවා.

විප්ලවීය “ඇපල් ටූ” කළ එළි දකින්නේ මේ කාලසීමාව තුලදීයි.

වර්ණ ග්‍රැපික් හැඩතල වලින් අනූන, මූලික ක්‍රමලේඛන භාෂාවක් මත පදනම් වූ මිත්‍රශීලී මුහුණුවරක් ගත් මේ අද්විතීය නිර්මණය ලොව පුරා පාරිභෝගිකයන් මිලියන ගණනක් අතරේ අළවි වනවා.

එක්දහස් නමසිය අසූ හතරේ ජනවාරිමස විසිහතරවෙනිදා ඇපල් සමාගම නවමු මාවතකට යොමු කල “ඇපල් මැකින්ටොෂ්” පරිඝනකය කරළියට එනවා.

“මැකින්ටොෂ්” ව්‍යාපෘතියේ යාවජීව සාමාජිකයකු ලෙස වොස්නියැක් කටයුතු කරනවා.

සෑම සියලු නිර්මාණයක්ම තමාගේ පෞද්ගලික දෙයක් කර ගැනීමට වෙරදරන, ජොබ්ස්ගේ කූඨ ව්‍යාපාර උපක්‍රම දෙස වොස්නියැක් පිළිකුළෙන් යුතුව බලා සිටිනවා.

කාසි ගැටෙනා නාදයට හදවත ගැහෙනා තම ව්‍යාපාර සගයාගේ ආත්මාර්ථකාමී ගමනට ඉඩ දී, එක්දහස් නමසිය අසූ පහ වසරේදී ස්ටීව් වොස්නියැක් සදහටම ඇපල් සමාගම හැර යනවා.

ස්ටීව්, මම තවමත් අපි ගරාජ් එකේ කරපු දේට ආදරෙයි”
වොස්නියැක් එහෙම කියනවා.

0 comments:

Post a Comment