Saturday, February 16, 2019

මුහම්මද් අලී | Muhammad Ali

බොක්සින් වලල්ලේ “ශ්‍රේෂ්ඨතමයා”




ඒ උතුරු ඇමරිකාවේ වර්ණභේදවාදය තදින්ම ක්‍රියාත්මක වූ කාලයකි. යටත් විජිත සමයේ අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ කලු ජාතිකයන්, සුද්දන්ගේ වහලුන් යැයි ඔවුන් සිතීය.

මවු කුසෙහි සිටිනා නූපන් දරුවා පවා ගණන්කාර සුද්දන්ගේ වහලෙකු බවට පත්විය.

“කැසියස් මාසෙලස් ක්ලේ” අලීගේ මුල් නම උනේ එයයි.

“කැසියස් මාසෙලස්” යන්න, තම පියාගෙන්ද, “ක්ලේ” යන්න තම පරපුර අයත් වහල් හිමියාගෙන්ද ඔහුට හිමි වුණා.  

ඔහු උපන්නේ එක්දහස් නමසිය හතලිස් දෙකේ ජනවාරි මස දාහත් වැනිදායි. ඒ ලුවිස්විල් නම් කෙන්ටකි ප්‍රාන්තයේ පිහිටි කුඩා ගමක.   

දිනක්, ඔහු වඩාත් ආදරය කල ඔහුගේ බයිසිකලය ඔහුට අහිමි උනා. එය සොරකමක් යැයි වටහාගත් කුඩා ක්ලේ පොලිස් නිළදාරියකු හමුවී බයිසිකලය සොරාගත් තැනැත්තා හමුවුවහොත්, ඔහුට හොද පාඩමක් උගන්වන්නට ඕනෑ යැයි කියාසිටියා. එවිට පොලිස් නිළදාරියා පිළිතුරු දෙමින් කියා සිටියේ, “හොරාට පාඩම් උගන්වන්නට කලියෙන් පාඩම් උගන්වන හැටි ඉගෙන ගත්තොත් මොකද?” යනුවෙනුයි.

“ජෝ මාටින්” නම් එම පොලිස් නිළදාරියා අලීගේ ප්‍රථම පුහුණු කරු වුණා. පොලිස් නිළදාරියකු මෙන්ම අර්ධ කාලීන බොක්සින් පුහුණුකරුවකු වූ ඔහු, එදා අලීහට; හොරුන්ට පාඩම් උගන්වන හැටි කියා දුන් අයයි.

මෙම දෛවෝපගත සිදුවීම හමුවේ, වසර එක්දහස් නමසිය හැටේදී අලී (එකල ක්ලේ) රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙමින් රන් පදක්කමක් දිනා ගත්තා. වහල්භාවය කරමතින් දරාගත් කලු ජාතිකයෙකු ලෙස සුද්දන්ගේ රටට තමාගෙන් කුමට රන් පදක්කම්ද යැයි සිතමින්, අලී (එකල ක්ලේ) තමා ලද රන් පදක්කම “ඔහියෝ ගං පතුලට විසි කලා.    

බොක්සින් වලල්ල තුල, අලී ඔහුව හදුන්වාගත්තේ 
“ශ්‍රේෂ්ඨතමයා” ලෙසිනුයි. තම ප්‍රථිවාදියාට තරගය එපාවන තුරුම අපහාසාත්මකව ඇනුම්පද කීම අලීගේ ක්‍රමය වුණා.

එක්දහස් නමසිය හැට හතර වසරේදී, “ලෝක හෙවිවෙයිට් ශූරතාවය” සදහා, අලී (එකල ක්ලේ) “සනී ලිස්ටන්” ට අභියෝග කලා. එවිට ඔහුට වයස අවුරුදු විසි දෙකයි. වයසින් කුඩා වුවත්, අලීට තිබුනේ අපහාසාත්මක කතා විලාසයක්. තරගයට පෙර අලී, සනී ලිස්ටන්ට බොහෝ අවලාද අපහාස කලා.

“ලිස්ටන් හරියට තඩි ගද වලහෙක් වගේ, මම ඌව පැරැද්දුවම, සත්තුවත්තට පරිත්‍යාග කරනවා.”

අලී තරගයට පෙර ලිස්ටන්ට ඇමතුවේ එලෙසයි. ඔහුගේ කතා විලාසය හරියට රැප් ගායකයෙකු ගයන රැප් ගීතයක් වගේ, තාලයට පද ගලපා රිද්මයානුකූලව ප්‍රථිවාදියාට පහර ගැසීමට අලීට තරම් හැකියාවක් අන් කිසිවෙකුට නොතිබුණා.

“කවුරු හරි අද රෑ බොක්සින් පිටිය අසලදී මිය යයි” ලිස්ටන් ගේ පිළිතුර වුණේ එයයි.

තරගය බලා සිටි සියලුදෙනාම පුන පුනා බලා සිටියේ මේ කටවාචාල කොලුගැටයාව, සනී ලිස්ටන් බිමහෙලන්නේ කිනම් වටයේද යන්නයි.

සමනලයෙකු සේ ඉපිලෙන, මී මැස්සෙකු සේ ඇනයන, අලීගේ (එකල ක්ලේ) සටන් ශෛලිය ලිස්ටන්ට තවත් පිටිය තුල රැදී සිටීමට අඩ හසර සලසා දුන්නේ නැහැ. තවදුරටත් සටන් වැද, තමාගේ දරුවකු වන් ප්‍රථිවාදියකුගේ “නොකවුට් පහරකට” ඇද වැටී තම නම්බුව අහිමි කර ගැනීමට අකමැතිවූ ලිස්ටන්, උරහිසෙහි ආබාදයක් යැයි පවසමින් තරගයෙන් ඉවත් වීමට තීරණය කළා.  

ඒ අනුව, වයස අවුරුදු විසි දෙකේදී “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට අලී (එකල ක්ලේ) පත් වුණා.

“ආපහු ගිලපං, උබේ වචන” අලී (එකල ක්ලේ) තරගයෙන් ඉවත්වී යන ලිස්ටන්ට කෑගැසුවා.
“මම තමයි ශ්‍රේෂ්ඨතමයා!”
“මම තමයි ලෝකයේ ජීවත් වන ලස්සනම දේ!” “මම මුලු ලෝකෙම හොලවනවා!” අලී (එකල ක්ලේ) යලි යලිත් කෑගසා කීවා.

කැසියස් ක්ලේ “මුහම්මද් අලී” බවට පතවුණේ මින් පසුවයි.

අලීගේ පවුල, ධනවත් පවුලක් නොවේ. පාසල් කාලයේදී, තම බාල සොහොයුරා පාසල් බස් රථයට නංවා, බසය පසුපසින් පාසල වෙත දිවයාමට අලීට (එකල ක්ලේ) සිදු වුණා. නමුත් ඔවුන් හොද කතෝලිකයන්.

“යේසුස් වහන්සේත් සුදුයි. සුදු හම, නිල් ඇස්, යේසුස් වහන්සේ කලු අපට කවදා පිළිසරණක් වේවිද?” අලීගේ සිතට කුඩා කල සිටම වද දුන් කාරණය වූයේ එයයි.

සමාජ සාදාරණත්වය, සහෝදරත්වය, සැමට එක සේ සැලකීම, යන කාරණා හමුවේ “ශුද්ධවූ බයිබලය” පසෙකලා “අල් කුරාණය” අතට ගනිමින් “කැසියස් මාසෙලස් ක්ලේ” “මුහම්මද් අලී” බවට පත් වුණා.

එක්දහස් නමසිය හැට හය වන විට ඇමරිකන් රජය වියට්නාමය සමග යුද්ධයකට පැටලුනා. හමුදා සේවය අනිවාර්‍ය වුණා. බොහෝ ක්‍රීඩකයන්, ගායකයන්, රංගන ශිල්පීන් තම මවුබිම වෙනුවෙන් යුද වැදුනා. නමුත් අලී, තම පෞද්ගලික ප්‍රතිපත්තිය මත වියට්නාම් වැසියන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට අකමැති වුණා.

“වියට්නාම් වැසියන්ට එරෙහිව සටන් වැදීමට මට ඕනෑ නැහැ. මගේ සතුරන් සිටින්නේ මෙහිමයි”

අලී කල ඒ ප්‍රකාශය ඇමරිකාව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යැයි ඇමරිකන් රජය කියා සිටියා.

“යුද්ධයට එරෙහි වුන් රජය විසින් සලකන්නේ දේශද්‍රෝහීන් ලෙස නම් ඔවු, මමත් දේශද්‍රෝහියෙක් ”
අලී යලිත් කියා සිටියා.

යුද්ධයට යාම ප්‍රතික්ශේප කිරීමත්, ඇමරිකන් රජය අමු අමුවේම විවේචනය කිරීමත් යන කරුණු කාරනා මත පදනම්ව අලී දිනා තිබූ සියලු පදක්කම් අහිමි කර, පස් වසරක තරඟ තහනමක් ලබාදීමට ඇමරිකන් රජය තීරණය කලා.

තරඟ තහනමට ලක්වූ අලී; විශ්ව විද්‍යාල වල “වර්ණභේදවාදය” පිළිබදව දේශන පැවැත්වූවා. තරුණ සංගම්, සිවිල් සංවිධාන හරහා වර්ණභේදවාදයේ අදුරු පතිකඩ පිළිබදව සමාජයට විදහාපෑවා. කෙසේ හෝ අලීගේ පස් වසරක තරඟ තහනම අධිකරණ නියෝගයක් මත තෙවසරකින් නිමාව දුටුවා.

නැවතත් බොක්සින් පිටියට පැමිණෙන අලී, ඔහුට අහිමි වූ “ලෝක හෙවිවෙයිට් ශූරතාවය” පසුපස හඹා ගියා. අලීගේ මීලග හෙවිවෙයිට් ප්‍රථිවාදියා වූයේ “ජෝර්ජ් ෆෝර්මන්”. දෙදෙනාම බොක්සින් පිටිය තුල එකෙකුට නොදෙවෙනි දක්ශයන් වූවා. තරගයට පෙර අලීගේ සුපුරුදු අපහාසාත්මක කතා විලාසය ෆෝමන්ගේ මනස නොසන්සුන් කලා. තරගය සුපුරුදු ලෙසම ඇවිලී ගියා. ෆෝර්මන්, අලී හා කරට කර සටන් වැදුනා. නමුත්, තරගයේ අටවන වටයේදී ෆෝර්මන්ව නොකවුට් පහරකින් පිටිය මත පථිත කරවීමට අලීට හැකි වුණා. මුහම්මද් අලී දෙවැනි වතාවටත් “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා. එම තරගය බොක්සින් ඉතිහාසයේ පැවැත්වූ  සාහසිකම තරගයක්. එය හැදින් වූයේ “රම්බල් ඉන් ද ජංගල්” ලෙසයි. 

එක්දහස් නමසිය හැත්තෑ අට වසරේදී “ලියෝන් ස්පින්ක්ස්” හට අලී පරාජයට පත්වුණා. අලීට නැවත හෙවිවෙයිට් ශූරතාවය අහිමි වුණා.

හෙවිවෙයිට් ශූරතාවය අහිමි වීම ඔහුට දරාගත නොහැක්කක් වුණා. ඒ අනුව එම වසරේදීම ස්පින්ක්ස් හට නැවත අභියෝග කර අලී තෙවන වරටත් “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා. ඒ වන විට හෙවිවෙයිට් ශූරතාවය “තෙවරක්” හිමි කරගත් අයෙක් බොක්සින් පිටිය තුල සිටියේ නැහැ.

එක්දහස් නමසිය අසූව වසර වන විට “පාකින්සන්” රෝග ලක්ෂණ අලීගේ සිරුරෙන් මතුවිමට පටන් ගත්තා. කාලයක් පුරාවට හිසට වැදුනු තදබල පහරවල් එයට හේතු වුණා. ඒවන විට බොක්සින් පිටියේ සිටි තරුණ, ජව සම්පන්නතම ප්‍රථිවාදියා වූයේ “ලැරී හෝම්ස්”. අලීගේ රෝග ලක්ෂණ වාසියක් කරගනිමින් අලීට අභියෝග කල හෝම්ස්, අලී පරදා “ලෝක හෙවිවෙයිට් ශූරයා” බවට පත් වුණා.

එම තරගය අලීගේ බොක්සින් දිවියේ ගොඩනගා ගත් කීර්තියට විශාල කැළලක් වුණා. නමුත් පිළිකාවක් මෙන් ඔහුගේ සිරුර පුරා ව්‍යාප්ත වන පාකින්සන් රෝගය නිසාවෙන්, මුහම්මද් අලී එක්දහස් නමසිය අසූ එක වසරේදී බොක්සින් පිටියෙන් සමුගත්තා.

ඉන් පසු අලී තම කාලය ගත කලේ, ඔහුගේ සමාජ සේවා කටයුතු සදහායි.

කලක් පුරාවට පාකින්සන් රෝගයෙන් පීඩා විදි ඔහු, දෙදහස් දහසයේ ජූනි මස තුන්වැනිදා එනම් ඔහුට වයස අවුරුදු හැත්තෑ හතරේදී තම ජීවන මංපෙතට තිත තැබුවා.

1 comment: